background img

Nodutu Aes

Directed by Kanchuka Dharmasiri

කුමාරි කුමාරගමගේගේ උරෙයිප්පු සාප්පාඩ/නොඇසූ කන්වලට කෘතියෙහි එන පද්‍ය සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යුද්ධය, ප්‍රචණ්ඩත්වය හා බලය පිළිබඳ ලියූ පද්‍ය නොදුටු ඇස් නාට්‍යයට පාදක වී ඇත.  කුමාරගමගේගේ පද්‍ය ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධයේ බලපෑමට ලක් වූ ස්ත්‍රීන්, දරුවන් හා මිනිසුන්ගේ දෛනික ජීවිතය ග්‍රහණය කරගනී; ගැටුම්කාරී සන්දර්භයක් තුළ ජීවිතයේ බිඳ විසිර යාම විදහා පාමින් එහි දී පන්ති භේදය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ක්‍රියාත්මක වන අන්දම දෙස අවධානය යොමු කරයි. යුද්ධයෙහි ආර්ථික හා දේශපාලනික යටිතලය ගවේෂණය කරන බ්‍රෙෂ්ට්, සාමාන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයින් එවැනි විනාශකාරී සන්තතීන්ගේ අවසන් ගොදුරු බවට පත් වන අයුරු පෙන්නුම් කරයි. නොදුටු ඇස් නාට්‍යය තුළ, කුමාරගමගේගේත් බ්‍රෙෂ්ට්ගේත් කවි බහුමාධ්‍ය රංගයක් ලෙස ප්‍රතිනිර්මාණය වෙයි. එහි දී යුද්ධයෙහි ප්‍රචණ්ඩත්වයේ මානුෂීය ප්‍රතිවිපාක ග්‍රහණය කරගැනීමත් ඒ පිළිබඳ විචාරාත්මක බැල්මක් හෙළීමත් සඳහා චලන, නිසලතාව, ශබ්ද හා නිශ්ශබ්දතාව උපයෝගී කරගැනේ. තව ද එය අප ජීවත් වන අවකාශ සමග අපට ඇති සම්බන්ධය ප්‍රශ්න කරන්නේ අවකාශය, මතකය, ශරීර හා ප්‍රචණ්ඩත්වය අතර සබඳතා විභාග කිරීම මඟිනි.

 

මෙම කෘතිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්, ආචාර්යවරුන්, Theatre of the Melting Clock සාමූහිකය හා ආරාධිත කලාකරුවන් පිරිසකගේ සාමූහික ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලය වෙයි. නළුවන්, සංගීතඥයන්, නර්තකයින් හා වීඩියෝ කලාකරුවන් ඒ ඒ අංශවල නිපුණතා රැගෙන එමින් කලාත්මක හා තාක්ෂණික දායකත්වය ලබා දෙමින් වැඩමුළු අවකාශයක් තුළ කෘතිය නිර්මාණය කර තිබේ.