background img

Nodutu As

Directed by : Kanchuka Dharmasiri

කුමාරි කුමාරගමගේගේ නොඇසූ කන්වලට කෘතියෙහි එන පද්‍ය සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් යුද්ධය, ප්‍රචණ්ඩත්වය හා බලය පිළිබඳ ලියූ පද්‍ය නොදුටු ඇස් නාට්‍යයට පාදක වී ඇත.  මෙම කෘතිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්, ආචාර්යවරුන් සහ Theatre of the Melting Clock සාමූහිකයට හා මහනුවර ප්‍රජාවට අයත් කලාකරුවන් පිරිසකගේ සාමූහික දායකත්වයක ප්‍රතිඵලය වෙයි. කණ්ඩායමේ සාමාජිකයින් නළුවන්, සංගීතඥයන්, නර්තකයින් හා වීඩියෝ කලාකරුවන් හැටියට ඒ ඒ අංශවල නිපුණතා රැගෙන එමින් කලාත්මක හා තාක්ෂණික දායකත්වය ලබා දෙමින් වැඩමුළු අවකාශයක් තුළ කෘතිය නිර්මාණය කර තිබේ.

කුමාරි කුමාරගමගේගේ පද්‍ය ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධයේ බලපෑමට ලක් වූ ස්ත්‍රීන්, දරුවන් හා මිනිසුන්ගේ දෛනික ජීවිතය ග්‍රහණය කරගනී; ගැටුම්කාරී සන්දර්භයක් තුළ ජීවිතයේ බිඳ විසිර යාම විදහා පාමින් එහි දී පන්ති භේදය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ක්‍රියාත්මක වන අන්දම දෙස අවධානය යොමු කරයි. යුද්ධයෙහි ආර්ථික හා දේශපාලනික යටිතලය ගවේෂණය කරන බ්‍රෙෂ්ට්, සාමාන්‍ය මිනිසුන් හා ගැහැණුන් එවැනි විනාශකාරී සන්තතීන්ගේ අවසන් ගොදුරු බවට පත් වන අයුරු පෙන්නුම් කරයි. නොදුටු ඇස්, බහුමාධ්‍ය රංගයක් උදෙසා  කුමාරගමගේගේත් බ්‍රෙෂ්ට්ගේත් කවි ප්‍රතිනිර්මාණය කරයි. එහි දී යුද්ධයෙහි ප්‍රචණ්ඩත්වයේ මානුෂීය ප්‍රතිවිපාක ග්‍රහණය කරගැනීමත් ඒ පිළිබඳ විචාරාත්මක බැල්මක් හෙළීමත් සඳහා චලන, නිසලතාව, ශබ්ද හා නිශ්ශබ්දතාව උපයෝගී කරගනී. තව ද එය අප ජීවත් වන අවකාශ සමග අපට ඇති සම්බන්ධය ප්‍රශ්න කරන්නේ අවකාශය, මතකය, ශරීර හා ප්‍රචණ්ඩත්වය අතර සබඳතා විභාග කිරීම මඟිනි.

නොදුටු ඇස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කලා මණ්ඩලයේ අනුග්‍රහයෙන් නිෂ්පාදිත ය. මෙම නාට්‍ය දර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංග්‍රීසි අධ්‍යයන අංශය සහ Theatre of Melting Clock විසිනි.